අධ්‍යාපන ඇමති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් මේ සතියේ සිලුමින පුවත්පතේ පළ වී තිබේ. ඇමතිතුමා අධ්‍යාපනයේ වර්තමාන ගැටළු සම්බන්ධයෙන් කතා කර කර තිබේ.
- නැවත පාසල් විවෘත කිරීම
- මෙම නිවාඩු කාලය තුළ විශේෂ ශිෂ්ය ක්රියාකාරකම්
- අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ගැටළු
- ගුරුවරුන්ගේ වැටුප් විෂමතා
Source : Silumina e paper 10.05.2020 by ජයසූරිය උඩුකුඹුර
කොරෝනා වසංගතයෙන් වැසුණු පාසැල් නැවත ආරම්භ කරන රජයේ වැඩපිළිවෙළ මොකක්ද ?
මේ පිළිබඳව තීරණය කරන්න ඕනෙ සෞඛ්‍ය අංශවල බලධාරීන් කියලයි මම හිතන්නෙ. අපි දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඉන්නෙ නැවත පාසැල් ආරම්භ කරන්න පුළුවන් වෙන්නෙ කවද්ද කියලයි. මැයි 11දා පාසැල් ආරම්භ කරන්න මුලින් සැලසුම් කරල තිබුණත් පවතින තත්ත්වය තුළ එය ප්‍රායෝගික නෑ කියල සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා. එ් අනුව නැවත පාසැල් ආරම්භ කරන්නෙ සෞඛ්‍ය අංශවල පුර්ණ එකඟතාව ඇතිවයි. පාසැල් දරුවා කොරෝනා වයිරසයේ වාහකයෙක් වෙන්න කිසි ලෙසකින්වත් ඉඩක් දෙන්නෙ නෑ. අපි කටයුතු කරන්නෙ ඒ ප්‍රතිපත්තිය අනුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වල පවා සඳහන් වන්නෙ කොරෝනා පාලනය කිරීමේ අවසන් අදියර විය යුත්තේ පාසැල් නැවත ආරම්භ කිරීම බවයි.
පාසැල් නැවත ආරම්භ කරද්දී පළමුවෙන් අ.පො.ස (සාමාන්‍ය පෙළ) පන්තිවල සිසුන් කැඳවීමේ සුදානමක් තිබෙනවාද?
ඇත්තටම පාසැල් ආරම්භ කරන්න අදියර හතරක් අනුගමනය කරන්න අපි සැලසුම් කරල තිබෙනවා. එ් අනුව පළමු අදියරේදි දිවයිනේ සියලු පාසැල් විවෘත කරල විෂබීජහරණය කරන්න හා පාසැල පිරිසිදු කරන්න කටයුතු සූදානම් කරල තිබෙනවා. මේ සඳහා සෞඛ්‍ය අංශවල හා දෙමාපියන් ගේ දායකත්වයත් ලබා ගන්න අපේක්ෂා කරනවා. දෙවන අදියරේ දි සියලුම පාසැල්වල විදුහල්පතිවරු, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල කැඳවලා නව කාල සටහන් හා පන්තිවල කාර්ය සාධන සටහන් සකස් කරන්න ඕන. තුන්වන අදියරේදී තමයි අපි අපේක්ෂා කරන්නෙ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්තිවල සිසුන් පාසැල්වලට කැඳවන්න. එහෙම කරන්න අදහස් කරන්නෙ සෞඛ්‍ය ආරක්ෂිත දුරස්ථභාවය තබා ගනිමින් අධ්‍යයනය කටයුතු කරන්න එමඟින් සිසුන්ට ඉඩ ලැබෙන නිසයි. මේ සිසු කණ්ඩායම් දෙක පමණක් මුලින් කැදෙව්වාම පාසැල්වල ප්‍රමාණවත් ඉඩකඩ තිබෙනවා වාගේම අවශ්‍ය තරම් ගුරුවරුන් ද ඉන්නවා. මොකද අනෙක් පන්ති ආරම්භ කරන තුරු ගුරුවරුන් විශාල පිරිසකගේ සහයත් මේ සිසුන් ගේ ඉගැන්වීමි සඳහා ලබා ගන්න පුළුවන්. ඉන් පසුව තමයි සාමාන්‍ය පෙළ පන්තිවලින් පහළ සිසුන් පාසැල්වලට කැඳවන්න අපි බලාපොරොත්තු වන්නේ. මේ හතරවන අදියර ක්‍රියාත්මක කරන්න මුල් අදියර ක්‍රියාත්මක කළ දිනයේ සිට මාසයක කාලයක් ගතවෙයි කියල අපි අපේක්ෂා කරනවා.
පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීමත් මීට සමගාමීව සිදු කරන්න රජය අපේක්ෂා කරනවාද?
පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේදි මීටත් වඩා සැලකිල්ලෙන් එය කරන්න ඕනෙ. ඒ නිසා පාසැල් ආරම්භ කරල රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළාට පසුව පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කළොත් හොඳයි කියලයි රජය කල්පනා කරන්නෙ. කෙසේ වුවත් ඒ සඳහා නිසි උපදෙස් ඉදිරි කාලයේදි නිකුත් කරන්න රජය කටයුතු කරනවා.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පාසැල් දරුවන් කිසියම් මානසික ආතතියකට පත්ව ඇති බවට මත පළවී තිබෙනවා. මේ තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවාද?
ඔව්; අපි දන්නවා දුව පැන ඇවිදිමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන දරුවන් එක දිගට මාසයක් දෙකක් නිවසට වෙලා ඉන්න කොට කිසියම් ආතතියකට ලක්වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ ගැන අපි අවධානය යොමු කරලා මෙරටෙි ලක්ෂ හතළිහකට වැඩි දරුවන්ට තමන් කැමති මාතෘකාවක් තෝරාගෙන පොතක් ලියන්න කියල ආරාධනා කරල තියෙනවා. එහෙම සිසුන් ලියන පොත් මුදාණය කරන්න අධ්‍යාපන සේවා මණ්ඩලය හා ජතික පුස්තකාල සේවා මණ්ඩලය කටයුතු සුදානම් කරල තිබෙනවා.එමඟින් දරුවන් තුළ සැඟව ඇති දක්ෂතා, කුසලතා මතුකර ගන්නත් අවස්ථාව ලැබෙනවා කියල අපි විශ්වාස කරනවා. අපි කළ ආරාධනය අනුව පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතින් දිවයිනේ බොහෝ දරුවන් පොත් ලියන්න පටන් ගෙන තිබෙන බව අපිට සෑම පළාතකින්ම තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ වාගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අන්තර්ජාලය හරහා මඟ හැරුණ පාඩම් සාකච්ඡා කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මෙහිදි මතුවු ගැටලුවක් තමයි අන්තර්ජාල පහසුකම් ඇති සිසුන්ට වඩා එම පහසුකම් නැති සිසුන් වැඩිවීම. මේ නිසා එකම වැඩ සටහන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේත් විකාශය කරන්න පියවර ගත්තා. මේ තත්ත්වය තුළ ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපන රූපවාහිනී නාලිකාවක් පවා ආරම්භ වී තිබෙනවා. අන්තර්ජාලය ගුවන් විදුලිය හෝ රූපවාහිනී පහසුකම් නොමැති යම් ප්‍රමාණයක දරුවනුත් මේ රටෙි ඉන්නවා. ඒ අය වෙනුවෙන් පාඩම් හා අභ්‍යාස සකස්කරලා තැපෑලෙන් ඔවුන් ගේ නිවෙසුවලට යවන්න වැඩ පිළවෙළක් අපි දැන් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරල සුදානම් කරල තිබෙනවා.
පාසැල් දරුවන්ට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ දැනුම දියුණු කර ගන්න කියල ඉකුත් යහපාලන රජයෙන් දරුවන් වෙනුවෙන් ටැබ් යන්ත්‍ර මිළ දී ගැනීමේදි රජ්‍ය මුදල් අවභාවිත කළ බවට ඔබලා එල්ල කල චෝදනා වලට මොකද වුණේ?
මේ චෝදනා සමිබන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරල ඒ විමර්ශන වාර්තා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාර දීල තියෙනවා. ඒ අනුව යම් පියවර අරන් තිබෙනවා.නමුත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදි නොසලකා හැර ඇති කරුණු බොහොමයක් දැන් අපෙ අවධානයට යොමුව තිබෙනවා. පාසැල් දරුවන්ට ටැබ් යන්ත්‍ර මිලදී ගන්න පෙර අවධානයට ලක්විය යුතු බොහෝ කාරණා තිබෙනවා. ටැබ් ලබා දුන්නත් ඒවා පාවිච්චි කරන්න අන්තර්ජාල පහසුකම් නැත්නම් වැඩක් තිබෙනවාද?ඉඒ වාගේම විදුලිය පහසුකම නැත්නම් ටැබි යන්ත්‍ර දුන්නත් ඒවා පාවිචිචි කරන්න පුළුවන් ද? අපේ පාසැල් පද්ධතියේ පාසැල් 10367ක් තිබෙනවා. ඒ අතර පහ ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසැල් 3400ක් පමණ තිබෙනවා. මේ බොහෝ පාසැල්වල ටැබ් පාවිචිචි කරන්න අවශ්‍ය මූලික පහසුකම්වත් නෑ. අපි කියන්නෙ ඒ මුලික පහසුකම් සම්පූර්ණ නොකර ටැබ් ලබා දීමෙන් ඇති ප්‍රයෝජන මොනවාද? ඒ සියලු පහසුකම සහිතව ටැබ් ලබා දුන්නා නම් ඇත්තටම සිසුන්ට එය ප්‍රයෝජනවත් වෙන්න තිබුණා. අපි දැන් මේ තාක්ෂණික යටිතල පහසුකම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා. දැනටමත් ඊ තක්ෂලාව මගින් දරැවන්ට අය කිරිමකින් තොරව අන්තර්ජාල පරිහරණයට පහසුකම් සලසා තිබෙනවා.
මෙතෙක් පාසැල් ළමුන්ට නියමිතව තිබු චක්‍රය වෙනුවට ඔබ කැල්කියුලේටර් පාවිච්චි කරන්න ඉඩ දෙන්න හදනවා. දරුවන්ට ඒක කොතරම් දුරට ගැළපෙනවාද?
අපේ පාසැල්වල ගණිතය භෞතික විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ගණකාධිකරණය වැනි විෂයයන් හදාරණ සිසුන්ට පාසලටත් කැල්ක්යුලේටරය ගෙනියන්න ඉඩ දී තිබෙනවා. අපි සිසුන්ට භාවිත කරන්න ඉඩ දෙන්නෙ මේ ගණක යන්ත්‍රවල මුලික පහසුකම් ඇති ගණක යන්ත්‍ර පමණයි.වැඩිදියුණු කළ ගණක යන්ත්‍ර විභාග ශාලාවලට ගෙනි යන්න දෙන්නෙ නෑ. එකතු කීරීම, අඩු කීරිම, බෙදීම, වැඩිකිරීම වැනි සරල ගණිතමය ක්‍රියාකාරකම් සඳහා අපේ දරුවන්ට ගණක යන්ත්‍ර පාවිචිචි කරන්න ඉඩ නොදෙන්නෙ ඇයි? පාසැලට ගණක යන්ත්‍ර ගෙනෙන්න පුළුවන් නම් ඒක විභාග ශාලාවට ගෙන යෑමේ තිබෙන වරද මොකක්ද ?
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සමඟ ඒ ඒ සිසුන් ගේ කුසලතාව ඇගයීමට ලක් කිරිමේ ප්‍රකාශය අත්හිටුවා තිබෙනවා. ඇයි ඒ?
ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසක් පෙනී සිටින විභාගයක දරුවන් කීප දෙනෙක් ඇගයීමට ලක් කිරීම කොයි තරම් සාධාරණද කියල අපි බලන්න ඕන.වැඩිම ලකුණු ලබා ගත් සිසුන් අතරේ ඔවුන්ට වඩා එක ලකුණක් දෙකක් අඩුවෙන් ලබා ගත් සිසුන්ට මෙමගින් ඇති වන මානසික පීඩනය කෙබදුද කියල අපි හිතන්න ඕන. ඒ නිසා දරුවන් දක්ෂ අදක්ෂ කියල බෙදන එක සුදුසු නෑ. අපේ රටේ තිබුණ පුරුද්දක් තමයි දරුවන් සමත් අසමත් හෝ දක්ෂ අදක්ෂ විදියට බෙදීම. අනෙක මේ ඇගයිම කිසිම තැනක නැවත අගයීමට ලක් වෙන්නෙ නෑ. උසස් පෙළ පන්තියට යන විට හෝ විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන කොට හෝ රැකියාවකට යන කොට හෝ කිසිම තැනක මේ ගැන සලකන්නෙ නෑ. එහෙම නම් ඇයි අපි මේ අනවශ්‍ය දෙයක් කරලා තවත් සිසුන් පිරිසක් ආතතියකට පත් කරන්නෙ.
ඔබ කියන ඔය ශිෂ්‍ය මානසික ආතතිය වඩාත් දරුණු ලෙස කැපී පෙනෙන අවස්ථාවක් තමයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ ඒ ඒ සිසුන් ලබාගත් ලකුණු මටිටම් අනුව ශ්‍රේණි ගත කීරිම. ඒ තත්ත්වයත් පාලනය කරනවාද?
ඔව්. ඒත් අපේම දරුවෝ. ජනප්‍රිය පාසැල්වලට ඇතුළත් කර ගන්න නියම කර ඇති ලකුණු සීමාවට පහළ ලකුණු ලබා ගෙන සිටින සියලුම සිසුන් අසමත් විදියට තමයි සලකන්නෙ. ජනප්‍රිය පාසැල්වලට ඇතුළු කර ගන්න ලකුණු සීමාව 180 වක් නම් ලකුණු 150ක් ලබා ගෙන ඉන්න දරුවා අසමත් විදියට සලකන්න පුරුදු වෙලා. මේ විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 200යි; එයින් ලකුණු 150ක් කියන්නෙ 75%යි. එහෙම ලකුණු ලබා ගත්ත අය අසමත් කියන්න පුළුවන් ද? ඒ දරුවා අදක්ෂයෙක්ද? මේ ආකාරයට දරුවන්ට වෙන අසාධාරණය නැති කරන්න මේ ක්‍රමවේදයේ යම් වෙනසක් අවශ්‍යයි කියල අපි කල්පනා කරල ඒ අනුව කටයුතු කරන්න දැන් සැලසුම් කරල තිබෙනවා.
අපොස (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදි යම් යම් වෙනස්කම් කරන්න යන බව සඳහන් වෙනවා. මොනවද ඒ වෙනස්කම්?
ඔය ප්‍රශ්නය සාකච්ඡාවට බදුන් වුණේ මේ විභාගය අගෝස්තු මාසයේදි පවත්වන නිසයි. එහිදි විකල්ප කිපයක් මතු වුණා. පළමු විකල්පය තමයි නිමිත පරිදි පාඩම් වැඩ කෙරිල නැත්නම් විභාගය කල් දාන්න ඕන කියන එක. දෙවන විකල්පය තමයි දරුවන්ට නියමිත සිලබස් එකේ ආවරණය නොකළ කොටස් අත හැර ප්‍රශ්නපත්‍ර සකස් කිරිම. තුන්වන විකල්පය තමයි දරුවන් ගැන සංවේදි නොවී නියමිත සිලබස් අනුව ප්‍රශ්නපත්‍ර සකස් කර නියමිත පරිදි විභාගය පැවැත්වීම. මේ තුන්වන විකල්පය ගෝත්‍රික විකල්පක් නිසා අපි ඒ ගැන හිතන්නෙවත් නෑ. අපිට තිබෙන්නෙ පළමු හෝ දෙවන විකල්පය ක්‍රියාත්මක කරන්නයි. අපි දැන් පසු කරමින් ඉන්නෙ මැයි මාසය. විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේදි. එතෙක් අපිට කාලය තිබෙන නිසා දරුවන්ට අසාධාරණයක් නොවන තීන්දුවකට එන්න අපි බලාපොරොත්තු වෙනවා.
දිවයිනේ පාසැල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක නගරයටත් ගමටත් සමාන වීම නිසා යම් අසාධාරණයක් සිදුවන බවට චෝදනා එල්ල වෙනවා. මේ ගැන යමි අවධානයක් යොමු කර තිබෙනවාද ?
පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේදි තරඟය තිබෙන්නේ දිවයිනේම පාසැල් හැට හතරකට පමණයි. මේ තරඟය නතර කරන විකල්ප පිළිබඳව අපේ රජය අවධානයෙන් ඉන්නෙ. ආණ්ඩුව බාර ගෙන අපිට වැඩ කරන්න කාලයක් ලැබුණේ නෑනේ. ඉදිරි කාලයේදි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරල අවශ්‍ය පියවර ගන්නවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේ පාසැල් විෂයධාරාවට තාක්ෂණ විෂය එකතු කිරීම මේ වන විට යම් ඇගයිමකට ලක් වෙමින් තිබෙනවා. ඔබ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට මොනවද ඇති කරන්න හදන වෙනස්කම් ?
අලුත් විෂයන් පාසැල් විෂය ධාරාවට එකතුවීම හොඳයි. නමුත් මම දැන් අත්දකින දේ තමයි දැනට තිබෙන විෂයන් තුල සිදුවිය යුතු විශාල වෙනස් කම් තිබෙන බව. උදාහරණයක් ලෙස දැනට ශාරීරික අධ්‍යාපනය පිළිබඳව ශිෂ්‍යයාගේ කුසලතාව මනින්නේ ලිඛිත පරික්ෂණයකින් පමණයි. ඒක වැරදියි. ඒ සඳහා ප්‍රායෝගික පරික්ෂණයකුත් අවශ්‍යයයි. ගෘහ විද්‍යාව වැනි විෂයකට ප්‍රායෝගික පරික්ෂණයක් නැතිව ලිඛිත පරික්ෂණයකින් පමණක් කොහොමද කුසලතා තිරණය කරන්නෙ. මෙන්න මෙවැනි අඩුපාඩු මඟහරවලා පාසැල දරුවාට මතක හිටින වැඩ බිමක තත්ත්වයක් ඇති කරන්න ඕන. එ් කියන්නෙ මේ විභාග ක්‍රමයේ විශාල ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුව තිබෙනවා. වර්තමාන විභාග කොමසාරිස්වරයා ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දෙමින් දියුණු තාක්ෂණය භාවිත කරමින් දරුවන්ට ප්‍රායෝගික හා න්‍යායාත්මකව ඔවුන් ගේ කුසලතා පෙන්නුම් කරන්න අවස්ථා ලබා දීමේ සැලසුම් සකස් කරමින් ඉන්නවා.
අ.පො.ස.(සාමාන්‍ය පෙළ )හා අ.පො.ස. (උසස්පෙළෙ) විභාගවලට පෙනී සිටින සිසුන්ට ඊ ළඟ අදියරට යන්න සෑහෙන කාලයක් බලා ඉන්න සිද්ධ වෙලා. මේ තත්ත්වයට විසඳුමක් දෙන්න බැරිද?
ඔබ මතු කරන කරණය ඉතාම නිවරදියි. දෙසැම්බර් මාසයේදි අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන් ගේ ප්‍රතිඵල නිකුත් වන්නෙ මාර්තු මාසයේදී. ඒ දරුවන්ට උසස් පෙළ පන්ති පටන් ගන්නෙ සැප්තැම්බර් මාසයේදි. 2020 දෙසැම්බර් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 2021 සැප්තැම්බර් දක්වා මාස අටක් නිකරුනේ කාලය ගත කරනවා.
උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදි පැවැත්වෙනවා. ප්‍රතිඵල එන්නෙ දෙසැම්බර් මාසයේදි. ඒ විභාගයෙන් සමත්වන දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න පුළුවන් වෙන්නෙ ඊට වසරකුත් මාස පහකට පසුවයි. මේ අනුව දරුවෙක් විභාග ලියලා වසර දෙකකුත් මාස තුනක් විතර නිකරුනේ ගෙදරට වෙලා කාලය ගත කරනවා. දරුවන් ගේ මේ වටිනා කාලය නාස්ති කරන එක ජාතික අපරාධයක්. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන නව ප්‍රතිසංස්කරණ ඇති කරන්න අපේ රජය අපේක්ෂා කරනවා.
ගුරු ස්ථානමාරු සඳහා නව තාක්ෂණය යොදා ගන්නා බව ඔබ සඳහන් කරල තිබුණා. දැන් ඒකේ තත්ත්වය කොහොමද?
වසරකට ගුරු ස්ථාන මාරුවල මූලික කටයුතු කරන්න මාස හතරක් පමණ කාලය ගත වෙනවා. මේ කාලය ඉතිරි කර ගෙන නුතන තාක්ෂණය අනුව ඇප් එකක් යොදා ගෙන වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඒ පිළිබඳ මේ දිනවල අධ්‍යයනය කරමින් ඉන්නවා.
දීර්ඝ කාලයක සිට ගුරු වැටුප් විෂමතා ගැන කතා කරනවා. ඔබ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවාද ?
ඇත්තටම ගුරු වැටුප් විෂමතාවක් තිබෙනවා. දක්ෂයින් ගුරු සේවයට ගෙන්වා ගැනීමට නොහැකි තරමටම මේ විෂමතාව දරුණුයි. මුලින්ම ගුරු සේවයට එන අයෙකුගේ වැටුප රුපියල් 32000ත් රුපියල් 34000ත් අතරයි තිබෙන්නෙ. මීට වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත ඇතැම් රාජ්‍ය සේවකයින් ගේ මුලික වැටුප මීට වඩා වැඩියි. මේ අඩු වැටුප් තත්ත්වය නිසා ගුරු වෘත්තිය වෘත්තීය තත්ත්වයට ගෙනෙන්න අමාරුයි.
ඇත්තටම ගුරු වැටුප් ඉතාම දුප්පත් තත්ත්වයකයි තිබෙන්නෙ. මේක වෙනස් කරන්නම ඕන. අපේ ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය මේ යෝජනාව පිළිගෙන තිබෙනවා. ඒ පිළිබඳව මම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිල තිබෙනවා. අපේ මීළඟ ආණ්ඩුවෙ පළමු අය වැය යෝජනාවට ගුරුවරුන් ගේ නව වැටුප් ක්‍රමය ඇතුළත් කරල ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා.